~~~තරු අයිති අහසටයි~~~
ශ්වේතා මලින්ති. මගෙ ආත්මයම වෙනස් කරපු නම.
අපේ ආයතනයට ආපු අලුත්ම විධායක නිළධාරිනිය. ආයතනයේ හිටපු ලාබාලම ඒ විතරක් නෙමෙයි සුන්දරම executive officer.
ඒ කතා කරන ඇස්, හිත පිස්සු වට්ටන හිනාව, දෙයියනේ මන් කොහොමද අමතක කරන්නෙ. ඔයා නිසා මට මාවත් අමතක උන මන් කොහොමද දෙයියනේ ඔයාව අමතක කරන්නෙ. දන්නව මන් එදත් කලේ වැරැද්දක්. අදත් කරන්නෙ ඒ වැරැද්දමයි. ඒත් මගෙ ඇස් හමදාම හොයන්නෙ ඔයාව විතරයි. මගෙ ඇස් දෙකට පේන්නෙත් ඔයාව විතරමයි.
Good morning ළ මයි, හැමදාම එයා වගේම හුරුබුහුටි මරුටි කාර් එකෙන් බැහැල ඔෆිස් එකට එන්නෙ ඔහොම කියාගෙන. අවුරුදු 24ක කෙල්ලෙක්ට ඒ වයසෙම එහෙමත් නැත්තම් ඊට අවුරුද්දක් දෙකක් වැඩිමල් කොල්ලො 10ක් විතර පාලනය කරනව කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙමෙයි, කරන්න බැරි වැඩක්. ඒත් එයා ඒක හරි ලස්සනට කලා.
සේවකයො හැමෝගෙම ආදරේ, ගෞරවේ අරගෙන හැමෝ එක්කම සහයෝගෙන් එයා වැඩ කලා. හැමෝම ආදරේට කිව්වෙ චූටි මිස් කියලා.
ඔව් හැමෝම එයාට ආදරේ කලා එයාලගෙ චූටි මිස් විදියට. හැබැයි මම ආදරේ කලේ ගොඩක් වෙනස් විදියට. මට ඕනෙ උනේ හමදාම ඒ කතාකරන ඇස් දෙක දිහා බලාගෙන ඉන්න. ඒ ඇස් මගේම කරගන්න. කොටින්ම කිව්වොත් මන් එයාට පිස්සු වැටුන. කොයි තරම්ද කියනවනම් මන් මගෙ රෑ වැඩ මුරේට වයිර කලේ ඒ සතියටම මට ඒ ඇස් දෙක දකින්න, ඒ කටහඩ අහන්න බැරි වෙන හින්ද.
.......................................................................
මන් එයාගෙ දුරකතනයට කෙටි පනිවිඩ තියන එකත් ටිකක කල් යද්දි මගෙ සාමන් ය පුරුද්ද්ක් උනා. හැබැයි කොයි වෙලාවකවත් එයාට මන් කවුද කියල කිව්වෙ නෑ වගේම එයා කවදාවත් මගෙ එක sms එකකටවත් reply කලෙත් නෑ. ඒත් මන් එයා දැක්ක දවසෙ ඉදලා මට හිතුනු හැමදේම එයාට ලිව්වා. දන්නව, නන්නාදුනන කොල්ලෙක් එවන මැසේජ් වලට රිප්ල් යි කරන්න තරම බොලද කෙල්ලෙක් නෙමෙයි එයා. ඒත් මගේ බොලද් හිත ගොඩ්ක් රිදුනා.
"අඩෝ, උබ උපවාසද බන් අද කන්න යන්නෙ නැද්ද?" කල්ප මගෙ බොක්ක මන් ළගට ඇවිත් කනට කරල කෑ ගහනකනුත් දැක්කෙ නෑ.
වෙනදටනම් ඌ කියන දේකට එකට දහයක් කියන මන් යන්තම් හිනා වෙලා නැගිට්ට හින්දා වෙන්න ඇති මගෙ දිහ පුදුම වෙලා වගේ බලන් හිටියෙ.
"මොකද දැන් උබ බඩගිනි වැඩිවෙලාද මාව කන්න වගේ බලන් ඉන්නෙ. වරෙන් මෙන්න මෙහෙ" මන් වෙනද වගේම විහිලුවක් කරල ඉන්න උත්සහ කලා. කල්ප මන් මෙතන වැඩට ආපු දා ඉදල මගෙ දුකට සැපට හැමදේටම හිටපු හොදම යාලුවා. අපි අතර කවදාවත් රහසක් නොතිබුනත් ශ්වේතා ගැන ඌට කියන්නවත් මට හිතුනෙ නෑ.
"මේ මේ කන්න කලින් කියපන් උබට මොකද්ද මේ ලගදි ඉදන් තියෙන ලෙඩේ කියල.මන් දැන් දවස් ගානක් බලාගෙන උබ ඔය ෆෝන් එක දිහා බලාගෙන භාවනා කරනවා"
"පිස්සුද උබට, මට ඇති ලෙඩක් නෑ. මගෙ ෆෝන් එක දිහා ඉතින් මන් නැතුව මොකා බලන්නද" "ඔව් ඔව් මට තමා පිස්සු. අනේ බන් මේ අවුරුදු 3ක් බොක්ක වගේ හිටපු මටනෙ උබ කොලේ වහන්නෙ. ඇයි බයද උබේ ඔය කෙල්ල මන් දා ගනියි කියලා."
ඌ ඒ කියපු කතාවටනම් මාව ගැස්සුනා. " මොකෝ බයවුනේ දැන් උබ ඔය කියන්න හදන්නෙ උබ ඔය ෆෝන් එකේ එල්ලීගෙන කොයි වෙලෙත් කොටන්නෙ කෙල්ලෙකුට නෙමෙයි කියලද?"
"හ්ම්ම් කෙල්ලෙකුට තමයි ඒත් වැඩක් නෑ" තවදුරටත් හිතේ සගවාගෙන සිටිය නොහැකි ප්‍රේමය මම ඔහුට කීමට සිතුවෙමි.
"ඒ වෙන කවුරුත් නෙමෙයි බන් ශ්වේතා" මන් කිය දැම්මෙමි.
"උබ ඔය කියන්න යන්නෙ මේ අපේ ..."
"ඔව් ඒ ශ්වේතා තමයි අපේ චූටි මිස්" ඔහු අසන්නට පෙර මම පිලිතුර කියා දැම්මෙමි.
කල්ප විමතියෙන් ටික වෙලාවක් මා දිහා බලාගෙන සිටියේය. මම එම දෑස් මග හැර ඉවත බලාගත්තෙමි.
"උබ ඔය දුවන්නෙ මිරිගුවක් පස්සෙ කියල උබට හිතෙන්නෙ නැද්ද" නිහඩ මිනිත්තු කීපයකට පසුව කල්ප මගෙන් ඇසුවේය. දනිමි කල්ප කියන්නේ ඇත්තය. නමුත් මගේ සිත එය පිලිගැනීමට සූදානම් නැත. එමනිසා මම නිහඩවම සිටියෙමි. "මචන් ශ්වේතා කියන්නෙ අපේ බොස්. අපි එයා යටතෙ වැඩ කරන නිකම්ම නිකන් සේවකයො විතරයි." කල්ප ලොකු කතාවක් කීමට සැරසෙයි. නමුත් මගේ හිතුවක්කාර කොලු සිත එය ඇසීමට සූදානම් නැත.
"ආදරේ කරන එක වැරැද්දක්ද බන්" මම මගේ නොරිස්සුම එක වැකියකින් පිට කලෙමි. කල්පට එය තේරෙන්නට ඇත.
"ආදරේ කරන එක වැරැද්දක් නෙමෙයි බන්. හැබැයි මතක තියා ගනින් තරු අයිති අහසට" එපමනක් කියූ ඔහු මගේ පිටට තට්ටුවක් දමා පිටව ගියේය.
දින දෙකක් ශ්වේතා මිස් වැඩට ආවේ නැත. රාත්‍රි වැඩ මුරය නිසා සතියක්ම දැකගත නොහැකි ඒ සුන්දර මුහුණ තවත් නොදැක සිටීම දරාගත නොහැකි තැන ඇගේ කටහඩ චුට්ටක් ඇසීමට මට බොලද ආසවක් ඇති විය. ඇයට මැසේජ් යවන අන්කයෙන්ම මම ඇයට ඇමත්මක් ගතිමි.බොහෝ වේලාවක් නාද වීමෙන් පසු අනෙක් පසින් ඒ කින්කිණි කටහඩ මට ඇසුනි.නමුත් එහි ගැබ් වී තිබුනේ නොරිස්සුමකි.
"හෙලෝ"
මම මදක් නිහඩව සිටියෙමි නැවත ඒ කටහඩ ඇසීමේ ආසවෙන්.
"හෙලෝ කවුද මේ?"
"මිස් මම..... පුබුදු"
නිහඩව තත්පර කීපයක් ගෙවෙන්නට ඇත.
"ආ පුබුදු මන් හෙට ඔෆිස් එනවනෙ. එතකොට කතා කරමු." එපමණක් පැවසූ ඇය මා තවත් යමක් කීමට පෙරම ඇමතුම විසන්ධි කලාය. හිතට දැනුනේ දුකක්ද,තරහක්ද,කලකිරීමක්ද නොදනිමි.
පසුදින උදෑසන ඇය කාර්යාලයට පැමිණ සිටියාය. දින ගණනකට පසු ඇගේ ඒ සුන්දර සිනහව මා හොඳහැටි විදගත්තෙමි.
ටික වේලාවකට පසු මා ඇගේ කාර්‍යාලය තුලට ගියේ ඇගේ කැදවීම හේතුවෙන් වුවද එය මා ආසාවෙන් බලාසිටි අවස්ථාවකි.
Good morning පුබුදු . ඇය වෙනදා මෙන්ම හිනා කටක් පුරවා මට සුබ පැතුවාය.මම යන්තම් සිනාසීමි.මන්ද ඇයගේ සිනහව අබියස මගේ මුව ගොලුවන බැවිනි .
"පුබුදු මේ සාම්පල් ටික අපි අදම දෙන්න ඕනෙ.ඒ හින්ද කල්ප එක්ක එකතු වෙලා දැන්ම වැඩ පටන් ගන්න." ඇය වෙනදා පරිදිම පැවසීය. අඩුම තරමේ ඊයේ මන් කතා කලේ ඇයි කියාවත් ඇසුවේ නැත. මම ආපසු එන්නට හැරුනෙමි . "පුබුදු.." මා ඉදිරියට අඩියක් තබනවාත් සමඟ ම ඇය ආපසු මා ඇමතීය. මම නැවතත් ඇය දෙසට හැරුනේ දෙවරක් නොසිතාමය.
"පුබුදු,මන් තව මාස 3කින් marry කරනවා." මගේ හුස්ම නැවතුනා මෙන් මට දැනුනි."ඊට පස්සෙ මන් රස්සවෙන් අයින් වෙනවා.ඒ නිසා මේ ටික කාලෙ අපි එකතු වෙලා අනව්ශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව මේ වැඩ ටික හරියට කරගෙන යමු." ඇය කලේ ඉල්ලීමක්ද,අනතුරු ඇගවීමක්ද නොදනිමි.නමුත් ඒ ඇසුනේ මෙලොව මට ඇසෙන අවාසනාවන්තම වචන බව මට සිතිනි. ඇය සුහදවම මා ප්‍රතික්ශේප කර ඇත.වහාම හැරුනු මම මොහොතක් හෝ එහි නොරැදි ඉවතට ආවේ දෑසේ මටත් හොරා නැගුනු කදුලු බින්දුවක් සගවාගන්නට උත්සහ කරමිනුයි .
ඉන්පසු සැමවිටම ඇය මා මගහරින්නට උත්සාහ කරන බව මට වැටහුණි .තවදුරටත් ඇය මා හා පෙර පරිදි සිනාසුනේද නැත.මට පවරන වැඩක් පවා ඇය මට දැනුම් දුන්නේ වෙනත් අයෙකු මාර්ගයෙන් ය.
මෙසේ ඇය මා මගහරින තරමටම මට ඇය හා කතා කිරීමේ අවශ්‍යතාව තවත් වැඩියෙන් දැනුනි.
මා වැඩ කලේ ද පෙර මෙන් උවමනාවකින් නොවේ. කල්ප සැම විටම මාත් සමග සිටියද නැවත කිසිදිනක මේ පිළිබඳව අහන්නට ආවේ නැත .
.........................................................................
ඒ නිවාඩු දින මා ටවුමට ගියේ ගෙදර යාමට පෙර බඩු ටිකක් මිලට ගැනීමටය. නොසිතූ මොහොතක මා දුටුවේ මදක් එහායින් පාර පැනීමට බලා සිටි ශ්වේතාය. සැහැල්ලු චාම් ගවුමකින් සැරසී සිටි ඇයගෙන් දිස්වූයේ වෙන කෙදිනකවත් නුදුටු අමුතුම සුන්දරත්වයකි. මටම අවනත නැති මගේ කොලු සිත ඇය හා කතා කරන්නට යයි මට බල කලේය .ඇය අසළට ගිය මා "ශ්වේතා මිස්" කියා සිහින් හඩින් ඇය ඇමතීමි.
මා දුටු විට ඒ ඇස් තිගැස්සිනි.නමුත් සිනාසුණු ඇය "අහ් පුබුදුකොහොමද?" ඇය පෑවේ මවාගත් සිනාවක් යයි මට සිතුනි.ඒ කෙසේ වෙතත් මම නැවතත් ඇගේ සිනහව ළඟ ගොලු වීමි. "මම එහෙනම් යන්නම් පුබුදු " මා නැවතත් පියවි සිහියට ආවේ ඇගේ එම වදන් වලටය.
තවදුරටත් මේ ආදරය සිතේ දරා සිටිය නොහැකිය.
"මිස් මට ටිකක් කතා කරන්න ඕනෙ"
"අනේ මන් ඉක්මනට යන්න ඕනෙ පුබුදු"
"මිස් එක විනාඩියක් please "
"Ok පුබුදු කියන්නකො"
මිස්... මේ...මේ" මෙය පැවසීම මෙතරම් අමාරු යැයි මට දැනුනේ ඒ මොහොතේ ය.
"පුබුදු මන් ඉක්මනට යන්න ඕනෙ "
"මිස් මන් මිස්ට ආදරේ කරනවා. මිස්ව දැක්ක දවසේ ඉදලා ගොඩාක් ආදරේ කරනවා "මම බිම බලාගෙන කියවා ගෙන ගියෙමි .
"පුබුදු.." මා හිස ඔසවා බැලුවේ ඒ ශ්වේතාගේ වේගවත් කටහඩටය. "ඔයා මොනාද මේ කියවන්නේ ?? දන්නවා නේද මම තව ටික දවසකින් marry කරනව කියලා .please ඔය විකාර ඔලුවෙන් අයින් කරගන්න."
මට බෑ මන් ජීවිතේටම ආදරේ කලේ ඔයාට විතරයි .කරන්නෙත් ඔයාට විතරමයි .මට ඔයාව අමතක කරන්න බෑ" මටවත් සිතාගත නොහැකි ආවේගයකින් මම කියවාගෙන ගියෙමි .
"එහෙනම් ඕනෙ දෙයක් කරගන්න.හැබැයි මට පේන්න කවදාවත් ආයෙ එන්න එපා."
ඒ සුදු මූන කවදාවත් නැති තරම් තරහෙන් රතුව තිබිණි. "ශ්වේතා" යන්නට හැරුණු ඇගේ අත මම තද කොට ඇල්වීමි.ඒ මම ඇගේ නම කියා කතාකල පලමු මෙන්ම අවසාන අවස්ථාවය. අල්ලාගත්තාටත් වඩා වේගයෙන් මගේ අත දමා ගැසූ ඇය දිව ගියේ මට සිතන්නටවත් ඉඩක් නොතබාමය.
දෙවියනේ..සිදුවූයේ මා සිහිනෙකින්වත් නොසිතූ දෙයකි. අදි වේගයෙන් ආ ලොරියෙන් බේරි යන්නට ඇයට නොහැකි විය.
අවසානයට මට මතක රුධිර ගොඩක් මත වැටී සිටි ශ්වේතාගේ රූපය පමණි .
..............................................
මට සිහිය එන විට මා සිටියේ මගේ කාමරයේ ය. මගේ පසෙකින් කල්ප ඉදගෙන සිටි බව අවට බැලූ මට දැක ගත හැකි විය.මම වහා නැගිට ඉදගත්තේ ශ්වේතා සිහි වීමෙනි. මගේ වෙනස කල්පට තේරෙන්නට ඇත.
"මචන් රෙලං වෙයන්" ඔහු මගේ අත අල්ලා කීවේය.
"කෝ ශ්වේතා .අනේ කියපන් ශ්වේතා හොදින් නේද.මුකුත් කරදරයක් නෑ නේද."
කල්පගේ නිහැඩියාව මාව තවත් කලබල කලේය.
"මචන් ශ්වේතා මිස් ආයෙ එන්නෙ නෑ.එයා අපිව දාලා යන්නම ගියා" ඔහු ඉවත බලාගෙනම කියවා ගෙන ගියේය .
"මොනවා, දෙයියනේ එහෙම වෙන්නෙ කොහොමද .නෑ නෑ එහෙම වෙන්න බෑ .අනේ ශ්වේතා මන් නිසාද ඔයාට මෙහෙම උනේ.මට තවත් ජීවත් වෙන්න බෑ."මන් පිස්සෙකු මෙන් කෑ ගැසීය. "කල්ප මට ශ්වේතා බලන්න යන්න ඕනෙ.මාව එක්කපලයන්"
"මචන් තේරුම් ගනින් දැන්වත්.අපිට මෙහෙම එකපාරට එතනට යන්න බෑ..."
මට ඔහු කියන දෙයක් ඇසීමට අවශ්‍ය වූයේ නැත .
"උබ ඕනෙ නෑ මන් තනියම යන්නම් "නැගී සිටි මාව කල්ප දැඩි කොට අල්ලා ගත්තේය .
"හොදයි,මන් උබව එක්ක යන්නම් .හැබැයි එතන ගිහින් කිසි කලබලයක් කරන්න බෑ"
"නෑ බන් නෑ මට එයාව බලන්න විතරමයි ඕනෙ.අනේ මාව එක්ක පලයන්"
මාව පාලනය කල නොහැකි තැන කල්ප මාත් සමඟ ශ්වේතාගේ නිවසට පැමිණියේ ය. නමුත් ඇගේ නිවසට ඇතුලු වන තැන ගසා තිබූ මරණ දැන්වීමේ තිබූ ඇගේ සිනහමුසු මූන දුටු විට තවදුරටත් මට පාලනය කරගත නොහැකි විය .ඔලුවේ දෑතම ගසා ගත් මම බිම ඉදගත්තේ මට සමාවෙන්න ශ්වේතා කියමිනි.
"තෝ තෝ... තෝ තමා මගෙ අහින්සකීව මරාගත්තෙ.මරනවා තෝව මම "නිවස දෙසින් දුව ආ තරුණයෙක් මගේ කමිසයෙන් ඇද නැගිටවා මට අතුල් පහරවල් කීපයක් එල්ල කලද ඒවායින් බේරීමට හෝ පෙරලා පහර දීමට මට උවමනාවක් නොවිණි .නමුත් කල්ප සහ අවට සිටි කිහිප දෙනෙකු ඔහුව ඇද ඉවතට ගෙන යාමට උත්සාහ දැරීය."නෑ මට මේකව මරන්න දීපන් .මගෙ කෙල්ලව මරාගත්ත මිනීමරුවා"
දෙවියනේ...මෙතෙක් වෙලා මගේ යටි සිත මටම කල චෝදනාව වෙනකෙක් මගේ මුහුණ ඉදිරියේම කරන විට තවත් දරා සිටින්නේ කෙසේද?තවත් මොහොතක්වත් එතැන නොරැදුනු මා පිස්සෙකු මෙන් ඔහේ පාර දිගේ දුව ආවෙමි.එසේ කෙතරම් දුර ආවදැයි මම නොදනිමි .හති වැටීමෙන් පාර අයිනේ බෝක්කුවක් උඩ හිදගත් මා තරු පිරි අමාවක අහස දිහා හැගීම් විරහිතව පැය ගණනක් බලා සිටින්නට ඇත.අහස පුරා විසිරී තිබූ තරු පොකුරු අතරින් තරුවක් උල්කාවක් ලෙස පහලට වැටී නොපෙනී යනු දිටිමි .වටහා ගතිමි .මෙතුවක් කල් කල්ප ,මගේ යටිසිත මට වටහා දීමට උත්සාහ දැරූ මා තේරුම් ගැනීමට උත්සාහ නොකල සත්‍ය වටහා ගතිමි .ඇත්තය තරු අයිති අහසටය .තරුවක් පොළවට වැටේ නම් ඒ දැවී අලුවෙන උල්කාවක් ලෙස පමණි .
නිමි
No comments:
Post a Comment